29032024Fri
Last update:Mon, 04 Mar 2024

තුන් මසකට වරක් මුදල් කමිටුවට වාර්තාවක්

ranil5 1දේශිය හා විදේශීය බැඳුම්කර නිකුතුව පිළිබඳව සෑම තුන්මසකට වරක්ම මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුව වෙත සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝග කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය යටතේ රජයේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු වුවද පසුගිය කාලය පුරාම බොහෝ මූල්‍ය කටයුතු සිදු වූයේ පාර්ලිමේන්තුව නොදැනුවත්වය. මූල්‍ය තීන්දු තීරණ පමණක් නොව ණය ගැනීම් සහ මූල්‍ය ගිවිසුම් අත්සන් කිරීම් ගණනාවක් පාර්ලිමේන්තුවට රහසේ සිදු කර තිබිණි. වරාය නගරය වැනි මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ගිවිසුම් අත්සන් කෙරුණේද පාර්ලිමේන්තුව අබිබවමිනි.

වික්‍රමසිංහ මහතා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ යහපාලන රජය යටතේ යළිදු ව්‍යස්ථානුකූලව රාජ්‍ය මුල්‍ය කටයුතු පාර්ලිමේන්තුව සතු කිරීම සඳහා මූල්‍ය කටයුතු පිළිබඳ නිරන්තරයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමේ සම්ප්‍රදායක් ඇති කිරීමේ අවශ්‍යතාව මතය.

මේ අනුව මූල්‍ය මණ්ඩලය විසින් බැඳුම්කර පිළිබඳව පමණක් නොව විදේශ සංචිත පිළිබඳ ‍ත්‍රෛයි මාසික වාර්තා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුය.

රජය විසින් ආර්ථික කටයුතු පිළිබඳ කමිටුවක් ස්ථාපිත කිරීමට අපේක්ෂිත අතර එම කමිටුව මඟින් ආර්ථිකය පිළිබඳ ත්‍රෛමාසික වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. විදේශ සම්පත් භාවිත කෙරුණු ආකාරය පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ වගකීම ද මෙම කමිටුවට පැවරේ.

රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ සවිස්තර වාර්තාවක් සෑම කාර්තුවකට වරක්ම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යංශයට පැවරේ. ආදායම් බදු එක්රැස් කිරීම සම්බන්ධයෙන් ද සියලු තොරතුරු මේ වාර්තාවට ඇතුළත් විය යුතු වේ.

වගකීමකින් හා විනිවිද පෙනෙන සුළු ආකාරයකින් රාජ්‍ය මූල්‍ය කටයුතු සිදු කරලීමේ පසුබිම මේ ක්‍රමවේදය හරහා ස්ථාපිත කෙරෙනු ඇත. එසේම රාජ්‍ය මූල්‍ය සම්බන්ධ චෝදනා එල්ල වන අවස්ථාවන්හිදි ඒ පිළිබඳ‍ සොයා බැලිමේ අවස්ථාව ද මේ සමඟ පාර්ලිමේන්තුවට හිමි වනු ඇත.