28032024Thu
Last update:Mon, 04 Mar 2024

විපතට පත් ලාංකිකයන්ට සහන දෙන්න

untitled 1 0 Mayජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට කඩිනමින් සහන සැළසීම සඳහා සහාය වන ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය එම මණ්ඩලයේ සියලු සාමාජික රටවලින් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකාවට ඇතිවී තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කනස්සල්ල පළකරන බව පවසන ඒ මහත්මිය පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට කණගාටුව පළ කරන බවද කියා සිටී.

මේ අවස්ථාවේ දී සහන කටයුතුවල දී අවධානය යොමු වියයුත්තේ එම ඛේදවාචකයට මුහුණ දී සිටින ප්‍රජාවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවා ඉටුකිරීම බව පෙන්වාදෙන මහ ලේකම්වරිය මේ අභියෝගාත්මක අවස්ථාවේ දී වීරත්වයෙන් කටයුතු කරන සහන සේවකයින්ගේ සේවය සමස්ථ පොදුරාජ්‍ය මණ්ඩලීය පවුලම අගය කරන බවද සදහන් කරයි.

ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ කෑගල්ල, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාව මේ අවස්ථාවේ විපතට පත්ව සිටින බව සදහන් කරන පොදු රාජ්‍යා මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පුද්ගලයින් 60කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව 425,000 ක පිරිසක් අවතැන්ව සිටින බවට වාර්තාවන බවද පෙන්වා දෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රබල සාමාජික රටක් වන ශ්‍රී ලංකාව එහි සියලු සාමාජික රටවල් සමඟ සමීප සබඳතා පවත්වා ගනිමින් තම මණ්ඩලය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරන බව පෙන්වාදෙන මහ ලේකම්වරිය ඒ හේතුවෙන් මෙවැනි අවස්ථාවක සහාය ලබාදෙන බවද කියයි.

මේ වනවිට ශ්‍රී ලංකාවට අමතරව ලෝකයේ රටවල් 52ක් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබා තිබෙන අතර අප්‍රිකානු රටවල් 18, ආසියානු රටවල් 8, අමෙරිකානු සහ කැරිබියන් රටවල් 13, යුරෝපා රටවල් 3ක් සහ පැසිෆික් රටවල් 11ක් ඊට අයත් වෙයි.