29032024Fri
Last update:Mon, 04 Mar 2024

නිසි ලෙස රාජකාරිය ඉටු කරන නිළධාරින්ට වංචා, දූෂණ පිලිබඳ පරික්ෂණවලට පෙනී සිටීමට සිදු නොවන බව ජනපති පවසයි.

01 30aඅද රාජ්‍ය සේවයේ ඇතැම් පිරිසක් මූල්‍ය වංචා පිලිබඳ පරික්ෂණවලට පෙනී සිටිමට සිදුවනු ඇතැයි ලිපිගොනුවලට අත්සන් තැබීමෙන් වැළකී සිටින බව පැවසූ ජනාධිපතිතුමා තම කාර්ය නිසි ලෙස ඉටු කරන නිළධාරින්ට කිසිවිටෙකත් පරික්ෂණවලට පෙනී සිටීමට සිදු නොවන බව ප්‍රකාශ කළේය.

මහජනතාව වෙනුවෙන් තම වගකීම් නිසි ලෙස ඉටු කරන රාජ්‍ය නිලධාරින් වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ද පැවසූ ජනාධිපතිතුමා නව රජය ලෙස නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන අවස්ථාවේ එහි පෙරමුණ ගත යුත්තේ රාජ්‍ය නිලධාරින් බව ද කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (29) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 33 වන වාර්ෂික මහා සමුළුව අමතමිනි.

යහපාලන සංකල්පය යථාර්තයක් බවට පත් කිරීමේ කාර්යයේ මුලික කටයුත්තක් ලෙස 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමට රජය පියවරගත් අතර ඒ තුළ දේශපාලන පළිගැනීම් සහ රාජ්‍ය සේවය තුළ සිදුවන අයහපත් තත්ත්වයන් වැලැක්වීමට පියවර රැසක් ගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන බලපෑම්වලින් තොරව තම ගෞරවය සහ අභිමානය රැක ගනිමින් කටයුතු කිරීමට ඉදිරියේ දී රාජ්‍ය සේවකයින්ට අවස්ථාව සැළසෙන බවත් ජනාධිපතිතුමා කියා සිටියේය.

රාජ්‍ය සේවයේ පුංචිම ස්ථානයක සිටි තමන් රාජ්‍ය නායකත්වය දක්වා ගමන් කළේ දේශපාලන පළිගැනීම්වල ප්‍රතිඵලයක් ලෙස බව ද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.

ඇමතිවරයෙක්ව සිටි අවධියේ මෙන්ම ජනාධිපති ධූරයට පත්වූ පසුවද තමා දිවා ආහාරය ලෙස ගන්නේ ගෙදරින් කෙසෙල් කොලේ සකසාගෙන එන බත් පතක් බව පැවසූ ජනාධිපතිතුමා “රජුන්, රජුන් විදිහට දිවා භෝජනය ගත යුතු බවටත්” “මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයේ වරප්‍රසාද භුක්ති විඳීමට නොදන්නෙකු බවටත්” පසුගියදා එක් ස්වාමින් වහන්සේ නමක් කළ ප්‍රකාශය සිහිපත් කරමින් සඳහන් කළේ රජුන් කටයුතු කළ ආකාරයට කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බවත් ජනාධිපතිවරයා ද, රාජ්‍ය නිළධාරියා ද, සාමාන්‍ය පුරවැසියා ද සියලූ දෙනාට සාමානාත්මතාවයෙන් යුතුව ජීවත්විය හැකි සාධාරණ සමාජයක් ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙල තුළ එවන් ප්‍රකාශ කිසිසේත් සුදුසු නොවන බවත්ය.

රාජ්‍ය නිළධාරිහු තම වරප්‍රසාද වෙනුවෙන් අරගල කිරීම තමා කිසිසේත් ප්‍රතික්ෂේප නොකරන අතර යහපාලන සංකල්පය තුළ ක්‍රියාත්මක වංචාවෙන්, දූෂණයෙන් මෙන්ම අක්‍රමිකතාවයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැඟීමේ කටයුත්ත තුළද ඔවුන් ඒ ආකාරයෙන්ම තම යුතුකම් ඉටු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ සභාපති රංජිත් ආරියරත්න මහතා ඇතුළු සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

03 01 13 08 06 04