13052024Mon
Last update:Wed, 08 May 2024

ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ ප්‍රමුඛස්ථානය

01 sri lankaවිදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයේ තබා කටයුතු කිරීමට ඉන්දීය රජය සූදානම් බව ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළාය. මේ වන විට අසල්වැසි රාජ්‍යයන් සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට ඉන්දියාව පියවර ගනිමින් සිටින බවද සුෂ්මා ස්වරාජ් මහත්මිය පැහැදිලි කළාය.  සුෂ්මා ස්වරාජ් මහත්මිය එසේ සඳහන් කළේ කොටුව පිහිටි ජනාධිපති නිල නිවසේ දී පසුගිය (6)දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ හමුවූ අවස්ථාවේදීය.

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමැතිනී පසුගියදා දිවයිනට පැමිණියාය. සියලු ජන කොටස් අතර සාමය, සංහිඳියාව ඇතිකර රට සංවර්ධනය කරා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශයෙන් ඉන්දියානු රජය ඉමහත් ප්‍රසාදය හිමි වෙන බවද ඉන්දීය විදේශ ඇමැතිනිය පැවසුවාය. එසේම එම ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමට ඉන්දිය රජයේ පූර්ණ සහාය හිමි වන බවද ඇය අනාවරණය කළාය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රධාන ඉන්දීය රජය, යහපාලන ආණ්ඩුවේ ක‍්‍රියාපිළිවෙත ගැන ඉමහත් පැහැදීකින් පසුවන බවද ඇය කියා සිටියාය. මෙම තීරණාත්මක අවස්ථාවේදී සංහිඳියා ක‍්‍රියාවලියටත්, ආර්ථික යෝජනා ක්‍රමවලටත් ඉන්දීය රජය ලබාදෙන පුළුල් සහාය පිළිබඳව තුති පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ කටයුතුවලට ඉන්දියාවෙන් ලැබෙන සහාය අගය කරන බව කී ජනාධිපතිවරයා එය කිසිවිටකත් ලගු නොකරන බව කීවේය. ඉන්දු- ශ්‍රී ලංකා දීර්ඝ කාලීන මිත්‍රත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා තමා ජනාධිපති ධුරයට පත්ව‍ ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගත්තේ ඒ අනුව බවද අනාවරණය කළේය. අසල්වැසි රටවල් සමඟ ඉතා සමීප සබඳතා පවත්වා ගැනීම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය බව කී ඇය අසල්වැසි රටවල් අතරෙන් ද ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය ලබාදීම මෝදී අගමැතිවරයා ප්‍රමුඛ ඉන්දියානු රජයේ පිළිවෙත බවද පැවසුවාය. එසේම ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තුති පුද කරන බවද ඒ මහත්මිය කීවාය.

ඉන්දු-ලංකා ද්විපාර්ශවික සාකච්ඡාවලදී අතපසු වී තිබූ කාර්යයභාරයන් පිළිබදව එළැඹි තීරණවලට සතුට පළ කළ ඉන්දීය විදේශ ඇමැතිවරිය තාක්ෂණ සහයෝගීතාවය පිළිබඳ නව එකඟත්වයන් ද එහිදී ඇති කර ගැනීමට හැකි වූ බව සඳහන් කළාය. වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය හා අධ්‍යාපන කටයුතු නංවාලීමට රජය පුළුල් වැඩසටහනක් දියත් කරන බව කී ජනාධිපතිවරයා ඒ සඳහා ඉන්දියාවේ සහයෝගය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

පූර්ණ සහාය ලබා දෙන බව අවධාරණය කළ ස්වරාජ් මහත්මිය අධ්‍යාපන හා තාක්ෂණික කටයුතු සඳහා අයිටෙක් එකඟතාවය යටතේ ආධාර කරන බව අවධාරණය කළාය.

රටේ සංහිඳියාව ඇති කිරීම, ව්‍යවස්ථා ප‍්‍රතිසංශෝධනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙළ ජනාධිපතිරයා පැහැදිලි කළේය.

ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය ජයශංකර් සහ මහ කොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්වරුද මේ අවස්ථාවට එක්වී සිටියහ.