13052024Mon
Last update:Wed, 08 May 2024

පරීක්ෂණවලට ජනපති-අගමැතිගේ බලපෑමක් නැහැ

01 mulyaසී.එස්.එන්. ආයතනයේ සිද්ධිය ඇතුළු මහා පරිමාණ මූල්‍ය වංචනිකයින්ට එරෙහිව සිදු කරන පරීක්ෂණ නීතියේ ආධිපත්‍යය තහවුරු වන ආකාරයෙන් සිදු කිරීමට රජය කටයුතු සම්පාදනය කර ඇති බව සඳහන් කරන නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන ඇමැති හා අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා එම පරීක්ෂණවලට ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හෝ ආණ්ඩුවේ ඇඟිලි ගැසීමක් බලපෑමක් නොවන බවට නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) මාධ්‍ය ආයතනය මඟින් මුදල් විශුද්ධිකරණය කිරීම, රාජ්‍ය දේපළ අවභාවිතය යන චෝදනා පදනම් කර ගනිමින් සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසියෝ නම් සංවිධානය විසින් ‍පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් 2015.03.15 දින විමර්ශන ආරම්භ කරන ලදී. මුදල් විශුද්ධිකරණය යනු සංවිධානාත්මක සිදු කරන බරපතළ ගණයේ අපරාධයකි. ඒ අනුව මේ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී9823 / 2015 යට‍ෙත් කරුණු වාර්තා කරන ලදී.

ඊට අදාළව මේ දක්වා ගරු අධිකරණය වෙත වැඩිදුර වාර්තා 20ක් ඉදිරිපත් කර ඇති අතර එමඟින් විමර්ශනයේ ප්‍රගතිය ගරු අධිකරණයට වාර්තා කර විමර්ශන සඳහා අවශ්‍ය නියෝග ලබාගෙන ඇත. මෙම විමර්ශනය සිදු කරන ලද්දේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සාමාන්‍ය අපරාධ නීතිය අනුව ඕනෑම පොලිස් නිලධාරියකු වෙත පැවරෙන විමර්ශන බලතල උපයෝගී කර ගනිමිනි.

මූලික වශයෙන් විමර්ශන නිලධාරින්ගේ විමර්ශනයට ලක්වූයේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) නාළිකාව සඳහා සංස්ථාපනය කරන ලද සමාගමේ ආරම්භක ප්‍රාග්ධනය වූ රුපියල් මිලියන 234ක් ලබාගෙන තිබූ ආකාරය ‍ෙව්. සමාගමේ මූලික කොටස් සංඛ්‍යාව හත් ලක්ෂ හතරක් (7,00,004ක්) වූ අතර එහි වටිනාකම රුපියල් මිලියන 07ක් බව අනාවරණය විය. ඉතිරි ප්‍රාග්ධනය ලැබුණු ආකාරය ගැන විමර්ශන කිරීමේ දී, ඒවා ව්‍යාජ ගනුදෙනු සහ විදේශ රාජ්‍යයක සිට නීත්‍යානුකූල නොවන ක්‍රියා මඟින් උපයා ගන්නා ලද මුදල් බවට අනාවරණය වී ඇත.

විදේශීය රාජ්‍යයක සමාගමක් හරහා ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 2.3ක ගනුදෙනුවක් තුළින් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) සමාගමේ ප්‍රාග්ධනයට අවශ්‍ය අනෙකුත් මුදල් ලැබී ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇත. මෙම ගනුදෙනුවට පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විදේශ සමාගමක ආයෝජනයක් මත සිදු කරන ව්‍යාපෘතියකි. වැඩිදුරටත් අනාවරණය වූයේ එම මුදල් (CSN) ආයතනයට ලැබුණේ යයි කියන ක්‍රමවලට අදාළ ගනුදෙනු පෙන්වා දී සිටින ආකාරයෙන්, සත්‍යය වශයෙන් සිදු වී නොමැති බවය. එබැවින් ආරම්භක ප්‍රාග්ධනය ලෙස යෙද වූ මුදල් විශුද්ධිකරණය තුළින් ලබා ගත් මුදල් බවට නිගමනය කිරීමට නෛතික හා සිද්ධිමේ පදනමක් උද්ගත වී ඇත.

මෙම සමාගමේ ලේඛනවලට අනුව මෙහි කොටස්කරුවන් සියලුදෙනාම ආරම්භක අධ්‍යක්ෂවරුන් වන අතර ඔවුන් රොහාන් වැලිවිට, කවිෂාන් දිසානායක, රවිනාත් ප්‍රනාන්දු, ශාඩියා කරුණාජීව යන අය වේ.

මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ නිශාන්ත රණතුංගය. සමාගමේ ගනුදෙනුවලට අදාළ විද්‍යුත් තැපැල් පණිවිඩ අධ්‍යයනය කිරීමේ දී ඉතා පැහැදිලි ලෙස අනාවරණය වී ඇත්තේ නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ යන අය එම සමාගමේ සභාපතිවරයා ලෙස සහ තීරණ ගන්නා ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බව ය.

මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු කර ඇති බවට මෙම තැනැත්තන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් මෙම වරද සම්බන්ධව ප්‍රකාශ කරන ලද කරුණු තුළින් ඔවුන්ගේ නිර්දෝශීභාවය අනාවරණය වී නොමැත.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වගන්තිය ප්‍රකාරව කටයුතු කරමින්, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 (05) උප වගන්තිය යටතේ පොලිස් නිලධාරියකු සතු නෛතික බලය ඉෂ්ට කරනු වස් කඩුවෙල ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මෙම සැකකරුවන් 2016.02.11 දක්වා බන්ධනාගාර ගත කරන ලදී.

ඉහත වරදට අමතරව මෙම සැකකරුවන් කූට ලේඛන පිළියෙළ කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම, සමාගම් පනත උල්ලංඝනය කිරීම ද සිදු කර ඇති බව අනාවරණය වී ඇත. රාජ්‍යය දේපළ අවභාවිතය සිදුකිරීමෙන් අපරාධ වරදවල් සිදු කර ඇති බවට ද අනාවරණය වෙමින් පවතී. මෙම කරුණු ඔස්සේ වැඩිදුරටත් විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලැබේ.

මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තොරව යම් යම් විමර්ශන කටයුතු සාර්ථකව හා නිවැරැදි ලෙස සිදු කිරීමට නොහැකි විය. එබැවින් එම පදනම මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සිදුවිය. සියලුම විමර්ශන කටයුතුවලින් පසුව මහාධිකරණයේ නඩු පැවරීම සඳහා උධෘත ගොනු ගරු නීතිපතිතුමා වෙත භාරදීමට නියමිතව ඇත.

මෙම කරුණු පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව ලබාගත් බව සඳහන් කරමි. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ පරිදි නීතියේ ආධිපත්‍යය තහවුරු වන ආකාරයෙන් මේ සියලු පරීක්ෂණ ක්‍රියාත්මක වේ. මේ කිසිදු පරීක්ෂණයකට ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ, කැබිනට් ඇමැතිවරුන්ගේ, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ හෝ නිලධාරින්ගේ කිසිදු බලපෑමක් හෝ ඇඟිලි ගැසීමක් සිදු නොවන බවද අවධාරණය කරමි.