ශ්‍රීලනිපයේ 26ක් ඇමැති මණ්ඩලයට-ජාතික ආණ්ඩුව බිහිවෙයි

new ministersඑක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ප්‍රමුඛ කොට ගෙන සෙසු දේශපාලන පක්ෂ රැසකගේ පූර්ණ සහයෙන් ජාතික ආණ්ඩුවක් ඊයේ (22) බිහි කැර ගන්නා ලදී. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු විසිහය දෙනෙක් නව ජාතික ආණ්ඩුවට එක්වූහ. මෙම මන්ත්‍රීවරු ඊයේ ම නව කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දී දිවුරුම් දී නව ජාතික ආණ්ඩුවට සිය එකඟතාව සපථ කළහ.

 ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති මෙම උත්සවය චාම් අයුරින් සංවිධාන කර තිබුණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 225 අතරින් බහුතරයට නව රජය හිමිකම් කියයි.

පසුගිය ජනපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්ව තමා ජනපතිවරණයෙන් ජයගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ රැසකගේ සහයෝගයෙන් ජාතික ආණ්ඩුවක් බිහිකැර ගන්නා බව ප්‍රකාශ කොට තිබිණි.

මේ අනුව යහ පාලනය, ජාතික සංහිඳියාව හා නව දේශපාලන සංස්කෘතියක් කරා රට මෙහෙයවීමට හැකියාව ලැබෙනු ඇත.

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහිකැර ගැනීම සඳහා අද අවශ්‍යව ඇත්තේ දේශපාලන පක්ෂ අතර සමගිය හා සංහිඳියාව, අවබෝධය ගොඩනගා ගැනීම බවත් මෙම භාරදූර කාර්ය ඉටුකැර ගැනීම සඳහා තමා කැප වෙන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද පළ කැර තිබිණි.

කැබිනට් අමාත්‍යවරු

ඒ. එච්. එම්. ෆවුසි මහතා - ආපදා කළමනාකරණ අමාත්‍ය,

එස්. බී නාවින්න මහතා - කම්කරු අමාත්‍ය,

පියසේන ගමගේ මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය,

ආචාර්ය සරත් අමුණුගම මහතා - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය,

එස්. බී. දිසානායක මහතා - ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය,

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා - පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය,

ෆීලික්ස් පෙරේරා මහතා - විශේෂ ව්‍යාපෘති අමාත්‍ය,

මහින්ද යාපා අබේවර්ධන මහතා - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය,

රෙජිනෝල්ඩ් කුරේ මහතා - ගුවන් සේවා අමාත්‍ය,

විජිත් විජයමුණි සොයිසා මහතා - වාරිමාර්ග අමාත්‍ය,

මහින්ද අමරවීර මහතා - ධීවර අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු

පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය - පරිසර රාජ්‍ය අමාත්‍ය,

ජීවන් කුමාරතුංග මහතා - කම්කරු රාජ්‍ය අමාත්‍ය,

මහින්ද සමරසිංහ මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය,

සී. බී. රත්නායක මහතා - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන රාජ්‍ය අමාත්‍ය,

ඩිලාන් පෙරේරා මහතා - නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

තිස්ස කරල්ලියද්ද මහතා - බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ නියෝජ්‍ය,

දයාශ්‍රිත තිසේරා මහතා - ධීවර නියෝජ්‍ය අමාත්‍ය,

රංජිත් සියඹලාපිටිය මහතා - ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය,

ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා - ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය,

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය,

ලලිත් දිසානායක මහතා - වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය,

ජගත් පුෂ්පකුමාර මහතා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය,

ලසන්ත අලගියවන්න මහතා - ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය,

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය - උසස් අධ්‍යාපන හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය,

ශාන්ත බණ්ඩාර මහතා - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය