පෙරහරවලට හීලෑ අලින්ගේ අඩුවක් නැහැ

peraheraඇසළ මාසයේ දී දිවයිනේ ප්‍රධාන ආගමික ස්ථාන රැසක පැවත්වෙන පෙරහැර මංගල්‍යයන් සඳහා අලි ප්‍රමාණවත් ලෙස නොමැති බව පවසමින් ගෙන යන වැඩපිළිවෙළ රජය අපහසුතාවට පත් කිරීමට කරන්නාවූ වෑයමක් ලෙස තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.

දියවඩන නිළමේතුමන් ඇතුළුව නිළමේ වරුන්ගේ සංගමය සහ හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡවේ දී ඔවුන් පෙරහර සඳහා ඔවුන් සතු සියලු අලි ලබාදීමටත් එම ප්‍රමාණය ඓතිහාසික දළදා පෙරහර සඳහා ප්‍රමාණවත් බවත්, හැකිනම් තවත් අලි පස්දෙනෙකු ලබා දෙන ලෙසටත් ඉල්ලීමක් කරන ලදී.

මෙම ඉල්ලීම සළකා බලමින් ඇමැතිතුමන් විසින් පෙරහර සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ උදාරතර පරමාර්ථයෙන් පින්නවල සිටින හීලෑ අලීන් හය දෛනෙක් පුහුණු කර මෙවර දළදා පෙරහරට මෙන්ම අනෙකුත් සිද්ධස්ථානවල පැවැත්වෙන පෙරහර සඳහා ද ලබා දීමට කටයුතු සම්පාදනය කොට ඇත.

ඒවාගේම නිරවුල් ලිපි ලේඛන සහිත පාරම්පරික වශයෙන් හීලෑ ඇති ඇතුන් සිටින විහාරස්ථාන සහ පුද්ගලයන් සඳහා 2013 වර්ෂයේ සිට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් නොකෙරුණු වාර්ෂික බලපත්‍රය ලබන 08 වන දින ඔවුන්ට ලබා දීමට නියෝග කොට ඇත.

එමගින් ඉදිරියේ දී පෙරහර සඳහා හීලෑ අලි ඇතුන් 80කට අධික ප්‍රමාණයක් සිටින බවත්, එම ප්‍රමාණය ප්‍රධාන පෙරහර මංගල්‍යයන් සඳහා ප්‍රමාණවත් බවත් ඇමැතිවරයා සඳහන් කරයි. මෙවර ඓතිහාසික දළදා පෙරහර අගෝස්තු මාසයේදීත්, කතරගම ඓතිහාසික පෙරහර ජූලි මාසයේදීත් පැවැත්වෙන නිසාවෙන් කිසිසේත්ම අලි අඩු යැයි පවසන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ඇමැතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.