හම්බන්තොට - මත්තල නැව් - ගුවන් යානාවලින් පුරවනවා

coltkn 01 06 rm 01174736994 4058482 06032016 arr cmyහම්බන්තොට ඉදිකර ඇති නැව් නොයන වරාය නැව්වලින් පිරවීමටත්, දවසට එක් ගුවන් යානයක් පමණක් පැමිණෙන මත්තල ගුවන්තොටුපලට ගුවන් යානා පැමිණීමටත් වැඩ සටහන් ක්‍රියාත්මක කෙරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හම්බන්තොට වරාය හැදූවිට දෙතුන් දෙනෙකුගේ පමණක් සාක්කු පිරුණු බව සඳහන් කළ අගමැති වික්‍රමසිංහ මහතා යහපාලන රජය බලයට පත්වූයේ පාලකයින්ගේ සාක්කු පිරවීමට නොව මහජනතාවගේ සාක්කු පුරවීමට බව කීය.අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (03) බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයින් ලක්ෂ තිහක් එක් කර ගැනීම අරමුණු කර ගනිමින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහන දිවයින පුරා නොයෙකුත් ප්‍රදේශවලදී පැවැත්වේ.

රාජපක්ෂ රෙජීමය වර්තමාන රජයට බාරදී ගියේ ස්විට්සර්ලන්තය, ඩුබායි හෝ සිංගප්පූරුව නොවන බවත් ඔවුන් බාරදී ගියේ සොරකම් කර නැත්තටම නැති කර තිබූ රටක් බවත් අවධාරණය කළ අගමැතිවරයා පසුගිය රජය සමයේදී ශ්‍රී ලංකාව පැත්ත දෙසවත් නොබැලූ ජාත්‍යන්තරය අපේ රටේ කඩාවැටී ඇති ආර්ථිකය නගාසිටුවීම සඳහා අද මුදල් ලබාදීමට සූදානමින් සිටින බව ද පැවසීය.

විදුලි සංදේශ සහ ඩිජිටල් පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.