ළමා හිංසනයේ නිරතවන්නන්ට ලබාදිය හැකි ඉහළම දඬුවම ඔවුන් සමාජයට හෙළිදරව් කිරීම බව ජනපති පවසයි.

4 2 23June16ළමා ශ්‍රමය සුරා කමින් ළමා හිංසනයේ නිරතවන පුද්ගලයින්ට ලබාදිය හැකි ඉහළම දඬුවම ඔවුන් පිලිබඳ සමාජයට හෙළිදරව් කිරීම බව ජනාධිපතිතුමා පවසයි.

ඒ සඳහා මාධ්‍ය ආයතන වෙත ඉහළ වගකීමක් පැවරී තිබෙන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ලෝක ළමා ශ්‍රම විරෝධි දිනයට සමගාමීව අද (22) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ලෝක ළමා ශ්‍රම විරෝධි දින ජාතික වැඩසටහනට එක් වෙමිනි.

එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තීන්ට අනුව කටයුතු කරන රාජ්‍යයක් ලෙස දරුවන් ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම වෙනුවෙන් රජය ඉහළ වගකීමකින් කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

එමෙන්ම ළමා හිංසනය වැළැක්වීම සඳහා අන්තර්ජාතික බැඳීම්වලට අනුගතව කටයුතු කරන බවද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා දරුවන්ගේ ශ්‍රමය සුරාකෑමට ලක්වීමේ පොදු සාධකයක් වන දිළිදු බව තුරන් කර රටේ ආර්ථීකය ශක්තිමත් කිරීමට ද රජය කැපවී සිටින බව අවධාරණය කළේය.

ළමා අපචාරවලින් සහ ළමා හිංසනයෙන් අපේ දරුවන් බේරා ගැනිමට නීති රිති සම්පාදනය කිරීම මෙන්ම පවතින නීති නිසියාකාරව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වුවද, නීතියෙන් පමණක්ම එය සිදු කළ නොහැකි බව පැවසූ ජනාධිපතිතුමා සමාජයේ වගකිවයුතු සියලූදෙනා ඒ පිලිබඳ අවබෝධයකින් කටයුතු කළයුතු බව ද ප්‍රකාශ කළේය.

ලෝක ළමා ශ්‍රම විරෝධි දිනය ජූනි 12 වෙනිදාට යෙදී තිබේ. 2016 ලෝක ළමා ශ්‍රම විරෝධි දිනයේ ගෝලීය තේමාව වන්නේ “නිෂ්පාදන දාමයේ වෙනසක් තුලින් ළමා ශ්‍රමය තුරන් කිරීම” යන්නයි.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය පැමිණිලි පිලිබඳ පරීක්ෂා කිරීම, සමාජය දැනුවත් කිරීම හා ළමා ශ්‍රම අවධානම වැළැක්වීම යන ක්ෂේත්‍ර තුන ඔස්සේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය තුරන් කිරීමේ ප්‍රතිඥාවට අත්සන් තැබීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන අධ්‍යක්ෂ ඩොන්ග්ලීන් ලී මහතා විසින් ශ්‍රී ලංකාව ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා වූ ප්‍රතිඥාව ජනාධිපතිතුමා වෙත ලබා දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් ප්‍රතිඥාවට අත්සන් තැබීය.

ශ්‍රී ලංකාව ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා වූ ප්‍රතිඥාව කෙටි පණිවුඩ හරහා සමාජගත කිරීම ආරම්භ කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, චන්ද්‍රානී බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු ද ජනාධිපති ලේකම් පී.බී අබේකොන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු ද, කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

7

6

4

3

1