පක්ෂයට ආදරේ නම් පක්ෂය සවිමත් කරන්න

coldigජනාධිපති අම්බලන්ගොඩ දී කියයි

මට පක්ෂයේ සාමූහිකත්වය අත්‍යවශ්‍ය බවත් එය ඉටු කිරීමට සියලු සාමාජිකයන් එකඟතාවයෙන් කටයුතු කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

පක්ෂය දෙකඩකර වෙනත් අරමුණු කරා යෑම ජයග්‍රහණයේ මාවත නොවන බවත් කී ජනාධිපතිවරයා ඉන් සිදු වන්නේ පක්ෂය වටා ඇති ශක්තිමත් යදම්වැල් ලිහිල් වීම පමණක් බවත් පක්ෂයට ආදරය කරන සියලු දෙනා එකම අරමුණකට පැමිණ පක්ෂය ශක්තිමත් කළ යුතු බවත් අවධාරණය කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පෙරේදා (23) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අම්බලන්ගොඩ ආසන සම්මේලනයට එක් වෙමිනි.

පක්ෂයේ නිර්මාතෘ සිහිගන්වා ගෞරව කිරීමේ කර්ත්‍යවයද මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ සුරතින් සිදුවිය.

ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා විසින් පක්ෂයේ වාර්තා ඇතුළත් සමරු කලාපය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහි දී සිදු විය.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අද කළ යුත්තේ පක්ෂය දෙකඩ කර අලුත් ආණ්ඩු හැදීමට සූදානම් වීම නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යෑමට එක්වීම බව ද ජනාධිපතිවරයා පැවසීය.

රටේ ජනතාවට අවශ්‍යව ඇත්තේ අලුත් ආණ්ඩුවක් නොව ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම බව පැවසූ ජනාධිපතිවරයා දේශපාලන න්‍යාය පත්‍රය දෙවන ස්ථානයේ ජනතා න්‍යාය පත්‍රය අංක එකට ගනිමින් ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතු බව කීවේය.

හොඳ ආණ්ඩුවක් හැදීමට නම් හොඳ පක්ෂයක් තිබිය යුතු බව ද මෙහි දී අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ සඳහා පිරිසිදු දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගිය යුතු බවත් 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස තම ජයග්‍රහණයටත්, මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයටත් හේතු වූයේ එවකට පළාත් පාලන ආයතන ප්‍රධානීන් විසින් සිදු කළ බරපතළ වංචා දූෂණ බවත් මෙහි දී සිහිපත් කළේය.

රට කඩන ඊළාම්වාදය පරාජය කර සියලූදෙනාට සහෝදරත්වයෙන් ජීවත්විය හැකි ස්ථාවර රටක් ලෙස රට ගොඩනගමින් අපේකම් මෙන්ම අපේ උරුමයන් ආරක්ෂා කර ගනිමින් රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීමට කැපවන බව ජනාධිපතිවරයා සහතික විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන ඓතිහාසික නිදහස් මැයි රැලියට ගාලූ පුරවරයට එක්වන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදි පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක් කළේය.

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර, හිටපු ඇමැතිවරුන් වන පියසේන ගමගේ, සජින් ද වාස් ගුණවර්ධන ගුණරත්න වීරකෝන්, හිටපු නාගරික මන්ත්‍රී අනුර කිත්සිරි යන මහත්වරුන්ද දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශිය නායකයින්, පක්ෂ ක්‍රියාකාරීන්. ජනතාව ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.