වී මිලදී ගැනීමේදී සහ පොහොර සහනාධාරය ලබාදීමේදී ගොවි ජනතාවට ඉටු කළ හැකි ඉහළම සාධාරණත්වය ඉටු කරන බව ජනපති පවසයි.

Presidential Media Unit Common Banner 1වී මිලදී ගැනීමේදී සහ පොහොර සහනාධාරය ලබාදීමේදී ගොවි ජනතාව වෙනුවෙන් ඉටු කළ හැකි ඉහළම සාධාරණය ඉටු කිරීමට තමා පෞද්ගලිකවම කැපවන බව ජනාධිපතිතුමා පවසයි.

වී මිලදී ගැනීම සහ පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් අදාළ මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිළධාරින්ගේ මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් අද (28) පෙරවරුවේ පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ හමුව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

වී අළෙවි කර ගැනීමේදී සහ පොහොර ලබා ගැනීමේදී තමන් මුහුණ දී ඇති ගැටළු පිලිබඳ ගොවි සංවිධාන නියෝජිතයින් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළ අතර ඒ පිලිබඳ යෝජනා සහ අදහස්ද රජය වෙත ඉදිරිපත් කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මෙවන් ගැටළුවලදී සියලූ පාර්ශවයන් එක්ව සාකච්ඡා කර ඊට විසඳුම් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බවයි.

එමෙන්ම සුදුසු අවස්ථාවල සුදුසු පියවර ගැනීම නිලධාරින්ගේ වගකීමක් බවද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ජනතාවගේ ගැටළුවලදී එහි වගකීම එක් ආයතනයකට පවරා කිසිවෙකුට ඉන් බැහැර විය නොහැකි බවද කියා සිටියේය.

වී මිලදී ගැනීම සහ පොහොර සහනාධාරය පිලිබඳ මතුව ඇති ගැටළු පිලිබඳ විශේෂ සාකච්ඡුාවක් ඉදිරියේදී පැවැත්වෙන අතර එහිදී ගොවි සංගම් නියෝජිතයින් ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා විශේෂ සැළකිල්ලට ගන්නා බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය පී. හැරිසන්, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල්, වී අළෙවි මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිළධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.