යෝජනා ගැන විමසීමට කාර්ය සාධක බළකායක්

01 sammathaඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළිබඳ සියලු පාර්ශවයන්ගේ අදහස් විමසීම සඳහා 11 දෙනෙකුගෙන් යුතු උපදේශන කාර්ය සාධක බළකායක් පිහිටුවීමට රජය තීරණය කරයි.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයන්ගේ සහාය ඇතිව මේ සඳහා වන දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර සියලු භාෂාවන් පදනම් කරගනිමින් මුහුණට මුහුණලා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්නා බවද එම උපදේශන ක්‍රියාවලිය සඳහා වන මූලික රාමුව දැනටමත් සකස්කර තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජිනීවා යෝජනාවලියට අනුකූලව සිවිල් සමාජයේ නියෝජිතයන්ගෙන් සමන්විත වන අයුරින් මේ උපදේශන කාර්ය සාධක බලකාය පිහිටුවා තිබෙන අතර එය මාස තුනක කාලයක් ඇතුළත අවසන් කිරීමට නියමිතය.

මනෝරි මුරුත්තෙට්ටුවේගම මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු මේ උපදේශන කාර්ය සාධක බලකායේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය පාක්‍යසෝති සර්වනමුත්තු මහතා කටයුතු කරන අතර ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය චිත්‍රලේඛා මානගුරු, විශාකා ධර්මදාස, ධර්මසිරි බණ්ඩාරනායක, ආචාර්ය ෆර්හානා හනීෆා, ශාන්ත අභිමානසිංහම්, මිරාක් රහීම්, මහාචාර්ය දයා සෝමසුන්දරම් සහ ගමීලා සමරසිංහ මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයෝ වෙති. යුද ගැටුම් පැවැති සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී යැයි පවසන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වූ ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන්ගේ වාර්තාව පසුගිය 2015 වසරේ මාර්තු මස 2දා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි දී ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සලයේ 28වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද එය ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මාස හයක කාලයක් සඳහා කල් ලබාදෙන ලදී. ඒ අනුව මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව පසුගිය 2015 වසරේ සැප්තැම්බර් මස 16දා ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ ප්‍රකාශයට පත්කරන ලදී. එය ප්‍රකාශයට පත්කරමින් කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ අන්තර්ජාතික විනිසුරුවන්, චෝදනා ගොනු කරන්නන් සහ විමර්ශන නිලධාරීන්ගෙන් සමන්විත මිශ්‍ර අධිකරණයක් ස්ථාපිත කළයුතු බවයි.