විස්සයි20 අරවින්ද බාර ගනී

aravinda 6Apමාලිංගගේ චෝදනාවටත් පිළිතුරු

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ විස්සයි 20 ක්‍රිකට් පරාජයේ වගකීම ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස තමා භාර ගන්නා බව අරවින්ද ද සිල්වා මහතා පවසයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්වීමේදී ශ්‍රී ලංකා පිලේ අර්බුද රැසක් තිබූ බවත්, එවැනි පසුබිමක් තුළ ක්‍රීඩා කරද්දී පරාජය අත්වීම සිදුවිය හැකි බවත් තේරීම් කමිටු සභාපතිවරයා පැවැසීය.

ආබාධයකට ලක් වී සිටියදීත් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කරන්නැයි තේරීම් කමිටුව තමන්ට බල කළ බවට ලසිත් මාලිංග මීට පෙර කළ චෝදනාවකට ද අරවින්ද ද සිල්වා මහතා පිළිතුරු සැපයීය.

ක‍්‍රීඩා කිරීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලසිත් මාලිංග තමන් වෙත එවන ලද ඊමේල් පණිවුඩයක් තිබෙන බවත් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ක‍්‍රීඩා කරන්නැයි තමන් ඔහුට යෝජනා කළේ ඒ අනුව බවත් අරවින්ද ද සිල්වා මහතා පැවැසීය. “මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ෆිට් නැති වුණාට අවශ්‍ය තරගාවලියකදී අවශ්‍ය වේලාවට ෆිට් වෙයි” අරවින්ද ද සිල්වා මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසූවේ කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ ඊයේ පැවැති ‘ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩාවේ අනාගතය’ නම්වූ සංවාද මණ්ඩපයේදීය. සේව් ද ස්පෝට්ස් ක්‍රීඩා සංවිධානය මෙහයවූ මේ සංවාදයට හිටපු ලෝක ශූර ක්‍රිකට් නායක හා වරාය නාවික ඇමැති අර්ජුන රණතුංග, හිටපු නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ කේ. එස්. පීරිස්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධයාපන උපදේශක අනූජ මල්ලවාරච්චි හා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ ලේකම් රෝහණ පෙරේරා යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලාන තරගාවලියට යෑමට දිනකට කලින් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස අරවින්ද ද සිල්වා මහතා පත් කෙරුනු අතර සාමාජිකයන් ලෙස කුමාර් සංගකකාර, රොමේෂ් කලුවිතාරණ, ලලිත් කලුපෙරුම හා රංජිත් මධුරසිංහ යන මහත්වරු නම් කෙරුණි.

“මා පත්වන විට දැන සිටියා ලෝක කුසලානයට කණ්ඩායමක් නම් කොට තිබුණු බව. නමුත් වෙනස් කම් කිහිපයක් කරන්න සිදු වුණා. තේරීම් කමිටුව හැටියට හිතට එකඟව හිතුවා මේක තමයි හොඳම කණ්ඩායම කියලා. ඒ නිසා පරාජයේ වගකීම භාර ගන්න පසුබට වෙන්නේ නෑ” අරවින්ද ද සිල්වා පැවැසීය. හිටපු තේරීම් කමිටුව දිනේෂ් චන්දිමාල් නායකයා ලෙස පත්කර තිබුණද, චන්දිමාල්ගේ අදහස වූයේ ඔහුට වඩා සුදුසු මැතිව්ස් බැවින් එය වෙනස් කරන ලෙස හිටපු තේරීම් කමිටුවට දැන්වූවද එය ප්‍රතික්ෂේප කිරීම කණ්ඩායම තුළ ප්‍රශ්නයක් වූ බව ඒ මහතා පැවැසීය.

“තේරීම් කමිටුව කණ්ඩායමේ ක්‍රීඩකයන් නම් කරද්දී නායකයා හා පුහුණුකරු දැන ගත යුතුයි ක්‍රීඩකයන් කව්ද කියා. ඒසේ කරන්නේ ඒ අයට විශ්වාසයක් ඇති ක්‍රීඩකයන් කණ්ඩායමේ සිටිය යුතු නිසා. පුහුණුකරු දන්නේ නෑ අවසන් මොහොත දක්වා කණ්ඩායමේ නායකයා කව්ද කියා. පිතිකරු ලැයිස්තුවේ වේගය වැඩි කරන්න පුලුවන් කෙනෙක් හිටියේ නෑ. චන්දිමාල් පැවැසුවා නායකත්වය මැතිව්ස්ට දිය යුතුයි කියා. නමුත් තේරීම් කමිටුව මාරු කරන්න බෑ කීවා. ඉන්දියාවට ගිය පසු වමත් පා දඟ පන්දු යවන්නෙකු ක්‍රීඩා කිරීම යෝග්‍ය බව කණ්ඩායම සිතුවා. මේ වගේ සැලසුම් කල යුතුව ඇත්තේ වසර දෙකකට පමණ කලින්. ක්‍රීඩාංගණ හා අනෙකුත් සාධක අනුව තීරණ ගත යුතුයි. ඒ නිසා මීළග ලෝක කුසලානයට කලින් සැලසුම් හදන්න කියා මා යෝජනා කරනවා” අරවින්ද ද සිල්වා මහතා පැවැසීය. තරගයක් දෙකක් අසාර්ථක වූ පමණින් දක්ෂ ක්‍රීඩකයන් ඉවත් කිරීම සුදුසු නොවන බවද ‍ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ හිටපු ලෝක ශූර ක්‍රිකට් නායක ඇමැති අර්ජුන රණතුංග මහතා පැවැසූවේ රටේ ක්‍රීඩාව දියුනු කිරීමට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි. ක්‍රිකට් පරිපාලනය වෙනස් වෙද්දී පුහුණුකරු හා කණ්ඩායම වෙනස් කිරීමේ ප්‍රතිපත්තියට තිත තැබිය යුතුව ඇතැයි රණතුංග මහතා පැවැසීය.

“අපට දක්ෂ කණ්ඩායමක් සිටිනවා. ඕනෑම වගකීමක් දැරිය හැකි පුහුණුකරුවන් ඉන්නවා. ඒත් පාලක මණ්ඩලය පිටරටින් එන ඕන කුණු ගොඩක් බදා ගන්නවා. නියම ප්‍රතිපත්තියක් තියෙනවා නම් මෙවැනි දේ වෙන්නේ නෑ. සංගක්කාර වැනි හිටපු ක්‍රීඩකයන් තේරීම් කම්ටුවට දැමීම සුදුසු නෑ. ඔහු සමග ක්‍රීඩා කළ අය කණ්ඩායමේ සිටියදී තේරීම් කමිටුවේ කටයුතු කිරීමෙන් ප්‍රශ්න ඇති වෙනවා. අප කළ යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ පසු බැසීම නවතා ගැනීමයි. තරුණ ක්‍රීඩකයන් ආරක්ෂාකරන වැඩ පිළිවෙළක් නොමැති නම් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය අදුරුයි” රණතුංග මහතා