ජාතික ආදායමෙන් 13%ක් වැඩි කරනවා

01 rajaරජයේ ආදායම් මට්ටම ලබන වසර තුන තුළ දී දළ ජාතික ආදායමෙන් සියයට 13ක් දක්වා වැඩි කිරීමට රජය ක්‍රියාකරන බව සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කියයි.

මෙයට අමතරව වාර්ෂික අය-වැය හිඟයද වසර පහක් තුළ දළජාතික ආදායමෙන් සියයට 3.5 දක්වා අඩු කිරීමට ද පියවර ගනු ඇතැයි ඇමැතිවරයා පැවැසීය.

අපේ රට මේ වනවිට ආර්ථික ඇගැයීම් ඒජන්සිවල හා අන්තර්ජාතික මූලධන වෙළෙඳ පොළවල අවධානයට යොමු වී ඇති බව පෙන්වා දුන් සමරවික්‍රම මහතා, දුර්වල ආර්ථික කළමනාකාරිත්වයට එම ආයතනවලින් දැඩි දඬුවම් හිමිවන බව ද කීවේය. මේ නිසා අපගේ අය-වැය ප්‍රතිපල හා ණය ගතිකයන් ශක්තිමත් කිරීම සඳහා කාලීන ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වී ඇතැයි ද කියයි.

පසුගිය රජය විසින් බදු ආදායම 2014 වසරේ දී දළජාතික නිෂ්පාදනයෙන් සියයට 10.9 දක්වා පහතට වැටීමට ඉඩ දුන් නමුදු 1980 ගණන්වල දී එය දළ ජාතික ආදායමින් සියයට 20ට වඩා ඉහළ මට්ටමක පැවති බව ද පෙන්වා දුන්නේ ය. අපගේ ආදායම් මට්ටම අයත් වන රටවල් සඳහා නිර්දේශිත බදු ආදායම දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 18ත් 20ත් අතර මට්ටමක පවතින බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මේ අනුව අය - වැය හිඟය වසර පහක් තුළ දී දළ ජාතික ආදායමින් සියයට 3.5 දක්වා අඩු මට්ටමක් පවත්වා ගෙන යාමටත් රජයේ ආදායම ලබන වසර තුන ඇතුළතදී 15% දක්වා වැඩි කිරීමටත් රජය අදහස් කර ඇත. ඉන්පසුව, රටේ පවත්නා සංවර්ධන ප්‍රමාණයට අනුකූල දළජාතික ආදායමින් සියයට 20ක මට්ටමට දේශීය ආදායම පවත්වාගෙන යාමට ද අපේක්ෂිතය.

පසුගිය රජයේ පාලන කාලයේ අවසාන වසරේ දී රට පහත් මට්ටමකට පත්වී රජයේ ආදායමින් සියයට 90ක් ම ණය සේවා ගාස්තු ගෙවීම සඳහා යෙදවීමට සිදු වූ බව පෙන්වා දුන් සමරවික්‍රම මහතා පෙර පැවැති රජය ලබාගත් ණය වාරික ගෙවීම සඳහා නව රජයට ණය ගැනීමට සිදු වූ බව ද අවධාරණය කළේ ය.