28032024Thu
Last update:Mon, 04 Mar 2024

පොදු සමා කාලය තුළ හමුදාවේ 12,000ක් බාර වෙති

afd21c299dbdb5f1ff3ee6b4cb51c871 xl 27042016 kaaආරක්ෂක හමුදාවලින් පලාගොස් සහ නිවාඩු ගෙන ආපසු සේවයට වාර්තා නොකළ භට පිරිස්වලට නිත්‍යානුකූලව ඉවත්වීමට ආරක්ෂක අමාත්‍යංශය ලබාදුන් පොදු සමකාලය තුළ දොළොස්දහසකට ආසන්න පිරිසක් බාරවී තිබේ.

ඒ අනුව යුද්ධ හමුදාවේ 10519, නාවික 602 සහ ගුවන් හමුදාවේ 446 මෙසේ බාරවී ඇත.බාරවීමට ලබාදුන් පොදු සමා කාලය ලබන 12 වැනිදායින් අවසන් වෙයි. පසුගිය කාලයේදී යුද්ධ හමුදාවෙන් පමණක් විසිපන්දහසක පමණ පිරිසක් පලාගොස් සිටි අතර නාවික හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් දෙදහසකට ආසන්න පිරිසක් ද ඇතුලුව ත්‍රිවිධ හමුදාවෙන්ම විසිහත්දහසක පමණ පිරිසක් පලාගොස් තිබිණි.

ඒ අනුව පසුගියදා ප්‍රකාශයට පත්කළ පොදු සමාකාලය අවසන් වීමටත් පෙර දොළොස්දහසකට ආසන්න පිරිසක් බාරවී ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේ ය.

තවත් පහළොස්දහසක පමණ පිරිසක් බාරවීමට නියමිතව තිබේ. ඔවුන්ට ලබන 12 වැනිදාට පෙර නිත්‍යානුකූලව බාරවී ඉවත්වන්නැයි මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටියි. යුද්ධ හමුදා සාමාජිකයන්ට ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලට නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන්ට ඔවුන්ගේ හමුදා මූලස්ථානවලට ද බාරවිය හැකිය.

මෙසේ බාර නොවන සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ලබන 12 වැනිදායින් පසු මෙහෙයුමක් ආරම්භ කෙරේ.